News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

“උමා ඔය සහන කටයුතු අවුල් ජාලයක් “

2017 Aug 29

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත්වූවන් සහන සැලසීමේ කටයුතු අඩාල වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වෙත දන්වයි. ලිපියක් යොමු කරමින් එම කෙන්ද්‍රෙය් අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ  බදුල්ල දිසාපති නිමල් අබේසිරි මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් උමා ඔය සහන කටයුතු එකම අවුල් ජාලයක් බවට පත්ව ඇති බවයි.

එම සම්පූර්ණ ලිපිය මෙසේය

2017 අගෝස්තු 28
ඔස්ටින් ප්‍ර‍නාන්දු මහතා,
ජනාධිපති ලේකම්තුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 1.

ප්‍රිය ජනාධිපති ලේකම්තුමනි,

උමා ඔය සහන ප්‍ර‍ගතිය - හර්තාලයෙන් දින 62

1.      උමා ඔය සහන සදහා බලතල පවරමින් බදුල්ල දිස්ත්‍රික් අතිරේක ලේකම්වරයා ලෙස පත් කළ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා මේ දක්වාම සිය ධූරයේ වැඩ බාර ගෙන හෝ නොමැත.  බදුල්ල දිසාපති නිමල් අබේසිරි මහතාගේ කටයුතු හේතුවෙන් ගෙවී ගිය දින 62 ක කාලයේ සහන කටයුතු අඩාල වී ඇත. දෛනික එකම අවුල් ජාලයක් නිර්මාණය වෙමින් ඇත.

2.      බදුල්ල දිස්ත්‍රික්කයේ උමා ඔය සහන කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ නියෝග, කැබිනට් තීරණ, අමාත්‍ය අනු කමිටුවේ පොරොන්දු, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝග හා උපදෙස්, විෂය භාර අමාත්‍යාංශය වන  මහවැලි ලේකම්වරයාගේ ඉල්ලීම්, නියෝග, උපදෙස් ක්‍රියාත්මක නොවන බව මෙයට වඩා වෙනත් සාක්ෂි අවශ්‍ය නොවේ.

හර්තාලයෙන් දින 62 කට පසුව,  අගෝ. 28 දිනට ප්‍ර‍ගතිය මෙසේය.

1.      වගා සහන ගෙවීම මූලික කටයුතු පළාත් සභාම මගින් ඇරඹී ඇත. මුදල් ගෙවීම් ප්‍ර‍ගතිය තවමත් ‘0‘ කි.
1.      අවතැන් වූ ජනතාවට අලුත්වැඩියාකොට පවරා දී ඇති රජයේ නිල නිවාසයක් ‘1‘ කි. (පළාත් සභාවේ නිවාස 3 ක් මෙයට අමතරව මුලින්ම නිදහස් කොට ඇත.)
2.      ඉදි කළ නල ලිං ගණන ‘0‘ කි. (දිසාපති උපදේස් අනුව නොමිලේ ජල ව්‍යාපෘතිය නවතා දමා ජල සම්පත් මණ්ඩලයේ යන්ත්‍ර‍ ඉවත් කොට ඇත.  මානව හිමිකම් කොමිෂන් නඩුව, මහවැලි ලේකම් විසින් බවුසර් සදහා මුදල් ගෙවීම නවතා දමා ඇත. නමුත්, නළ ළිං ඉදි කිරීම ඇරඹී නැත.)
3.      ගෙවල් කුලී ගැටළුව විසදී නැත  (හර්තාලයෙන් පසුව මේ දක්වා තවම නිවසකට හෝ කුලී රු.  15,000 ඉක්මවූ කුලියක් ගෙවා නැත. රජයේ තක්සේරුකරුගේ නීරීක්ෂණ කැබිනට් අනුමැතිය අවශ්‍ය බව බදුල්ල දිසාපති ප්‍ර‍කාශ කිරීමෙන් පසුව රු. 15,000 ක් පමණක් ගෙවීම දිගටම සිදුවේ.)
4.      විකල්ප මාර්ග ඉදි කිරීම  ප්‍ර‍ගතිය ‘0‘ කි. මාර්ග කිහිපයක කානු පද්ධති ශුද්ධ කිරීම පළාත් සභාව මගින් ඇරඹී ඇත.  
5.      ඉදිකළ, ඉදි කිරීම් ඇරඹි තාවකාලික නිවාස/කුඩාරම් සංඛ්‍යාව ‘0‘ කි.  (‘ජූලි 31 රැස්වීමෙන් පසුව සැලසුම් රැස්වීමක් හෝ පවත්වා නැත)
6.      පෙර සවි නිවාස ඉදි කිරීම සදහා කටයුතු සුදානමක් නැත. පෙරසවි නිවාස ඉදිකිරීම සදහා තෝරා ගෙන ඇති ස්ථානයට ජලය, විදුලිය, වැසිකිලි පහසුකම් හෝ සැපයීමට පෙර සුදානමක් හෝ නැත. 
7.      බැංකු ණය කපා හැරීම/සහන සැලසීම - ප්‍ර‍ගතිය ‘0‘ කි.  කැබිනට් පත්‍රිකාවේ ඇති දෝෂයක් හේතුවෙන් 3800 කට ආසන්න අයදුම්පත්  සහන කාර්යාලයේ ගොඩ ගැසී ඇත.
8.      උමා ඔය ව්‍යාපෘතියෙන් විපතට පත් පළමු කාන්තාව/ඇයගේ පුතා ට තවමත් රජයේ පාසල් ගොඩනැගිල්ලකය.  බදුල්ල දිසාපතිවරයා/ප්‍රාදේශීය ලේකම් ඇයට රු. 7500 ක නිවාස කුලියක් ගෙවීම සිදු කරන්නේ නැත.  
9.      අඹදණ්ඩේගම මුලින්ම විපතට පත් පවුල් 18 ට මේ දක්වා කිසිදු සහනක් (රුපියලක්වත් ගෙවා නැත) ඔවුන් වසර 2 මාස 4 ක් ජීවත්වන්නේ ඉටි රෙදි යට ය.

හිතවත් ලේකම්තුමනි,

ඊසාන දිග මෝසම් වැසි සමයට තවත් ඇත්තේ දින 23 ක් පමණී.  බදුල්ල දිසාපතිවරයා බණ්ඩාරවෙල/ඇල්ල, වැලිමඩ ඇතුලු උමා ඔය විනාශයට පත් ප්‍රදේශයන් හි ජනතාව පණ පිටින් වැලලී යන තෙක් බලා සිටින බව මුළු බදුල්ල ජනතාවම සක් සුදක් සේ අවබෝධ කොට ගෙන ඇත. 

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ජනාධිපතිවරයාගේ අමාත්‍යාංශය යි. එහි ලේකම්වරයා ගේ නියෝග/උපදේස් දුසිමකට වැඩි ප්‍ර‍මාණයක් මේ වන විට බදුල්ලේ ක්‍රියාත්මක වන්නේ නැත.  රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ එකම තීරණයක් හෝ බදුල්ල දිසාපති නිමල් අබේසිරිට අදාල නැත. තාවකාලික නිවාස ඉදිකිරීමේ නියෝගය ද ඒ අතර ඇත. ස්වදේශ ලේකම් ගේ නියෝග ඔහු දැනුවත්ව හෝ ඔහුගේ ද අනුග්‍ර‍හයෙන් ද හෝ  ක්‍රියාත්මක වන්නේ නැත.
උමා ඔය ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලිය දෛනිකව ලිපි ගොනු පිරවීමකින් ඔබ්බට ගෙන යාමට සුදුසු පියවර හැකි ඉක්මනින් ගන්නා මෙන් ඉතා කාරුණික නැවතත් ඉල්ලමි.

ස්තුතියි හිතවත්,

කිර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/කැෆේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය
 
පිටපත්
1.      අග්‍රාමාත්‍ය ලේකම්
2.      ලේකම්/ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය - නිසි කටයුතු සදහා කාරුණිකව
3.      ලේකම්/මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය - නිසි කටයුතු සදහා කාරුණිකව
4.      ඌව පලාත් ප්‍ර‍ධාන ලේකම් - ඌව පළාත් සභාව
5.      ශිරාල් ලක්තිලක මහතා - ගරු ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්
6.       ජනාධිපති අතිරේක ලේකම් - රෝහණ කීර්ති දිසානායක මහතා

Search News & Updates
Keyword
Date
Date