News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka
File photo

මහාධිකරණ පත්වීම පිළිබද මහින්ද රාජපක්ෂ මහතාට පිළිතුරක්

2017 Feb 23

අධිකරණ නිදහසේ මිත්‍යාවේ අහසින් සත්‍යයේ මහ පොළොවට බසින්නට වේළාවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතිඥ රාමයියා කන්නන් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම පිළිබද නිකුත් කළ පුවත්පත් නිවේදනය ‘අසත්‍ය, සැගවීම හා මුලාව’ උතුරා හැලෙන ගංගාවකි. ‘අධිකරණයේ ස්වාධීනත්වය’ ට සිදු වූ බලපෑම් පිළිබද ගැඹුරින් විමසා නැවත යළි කිසිදු අවස්ථාවක මෙවැනි අවාසනාවන්ත සිදු වීම් ඇති නොවීම සදහා වග බලාගැනීම අපගේ වගකීමක් ව පවතී.  

මේ ලිපිය සකස් වන්නේ යහපාලන රජය අධිකරණයට සිදු කරන බලපෑමක් වේ නම් එය වසන් කිරීමට නොව එදා රාජපක්ෂ රජය සිදු කළ ක්‍රම විරෝධී, ව්‍යවස්ථා විරෝධී කටයුතු යහපාලන යැයි කියන රජය යටතේ සිදුවීම වලක්වා ගැනීම සදහා ය. 

හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා ගේ නිවේදනයේ පළමු ඡේදයේ මෙසේ දැක්වේ.  ‘මේ රටේ පිළිගත් ක්‍රමවේදය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හා මහාධිකරණයේ විනිශ්චයකාරවරුන් සියලු දෙනාම පාහේ එක්කෝ අධිකරන සේවය තුළින්ම නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුව තුළින් පත් කිරීමයි'.   මහාධිකරණය, අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණයට ද, නීතිපති ධූරයට ද සිය වසර 9 පාලනය තුල විවිධ පත්වීම් සිදු කළ නීතිඥ රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන කරුණ සත්‍ය නොවේ. 

ලංකා අධිකරණ සේවා ඉතිහාසය පුරාම විනිසුරුවන් ලෙස අධිකරණ සේවයට හා නීතිපති දෙපාර්තමේන්තුවට පිටතින් පත්වීම් සිදු කොට ඇත. සී.ජී.වීරමන්ත්‍රී, නෙවිල් සමරකෝන්, මාර්ක් ප්‍රනාන්දු, ශිරාණි බණ්ඩාරනායක, ආචාර්ය. ඒ.ආර්.බී. අමරසිංහ, ආචාර්ය රංජිත් ධීරරත්න, ප්‍රසන්න ජයවර්ධන, ආර්.එස්.කේ. සුරේෂ්චන්ද්‍ර, ඒ අතර කැපී පෙනේ.  මේ නම් අතර ලංකා අධිකරණ කේෂ්ත්‍රය බැබලවූ කීර්තිමත් අදීන විනිසුරුවන් වෙති. 

මෙරට අධිකරණ සේවාව ඇරඹූ යුගයේ සිටම පිළිගත් චාරිත්‍රය වූයේ සුදුසු පිළිගත් විශේෂඥතා ඇති කේෂ්ත්‍ර තුලින් කලින් කලට පත්වීම් සිදු කිරීමයි.  

රාජපක්ෂ මහතා තවදුරටත් තම නිවේදනයෙන් ‘මා ජනාධිපතිව සිටි අවුරුදු 9 තුළ පුද්ගලික නීතිඥයන් අතරින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළේ එක් අයෙකු පමණී’  යනුවෙනි.  මෙය ද සත්‍ය නොවේ.  ප්‍රියන්ත ජයවර්ධන සහ ආර්.එස්.කේ. සුරේෂ්චන්ද්‍ර දෙදෙනාම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් බවට පත් වූවේ රාජපක්ෂ මහතා ගේ සමයේ ය.

මහ බැංකුවේ නීති උපදේශක හා කැබ්නට් උපදේශක ලෙස ඒකාබද්ධ අරමුදලෙන් වැටුප් ලැබූ මොහාන් පීරිස් මහතා නීතිපති ධූරයට පත් කරනු ලැබූවේ ද ජනාධිපති රාජපක්ෂ මහතා ය.  ශිරාණී බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් ඉවත් කොට අගවිනිසුරු පුටුවට නීතිත්‍යානුකූල නොවන ලෙස මොහාන් පීරිස් පත් කළේ ද, රාජපක්ෂ මහතා ය.

රාජපක්ෂ මහතා ගේ නිවේදනයේ දෙවන ඡේදයේ දැක්වෙන්නේ ‘දේශපාලන පක්‍ෂයක නිර්දේශයක් මත විනිශ්චයකාරවරයෙකු පත්කලේ නම් අධිකරණයේ ස්වාධිනත්වයේ මුලු පදනම දෙදරා යනු ඇත'  දේශපාලන පක්ෂයක් පමණක් නොව ජනාධිපතිවරයෙකු ද එසේ කරන්නේ නම් අධිකණයේ ස්වාධීනත්වයේ මළගම සටහන් වනු ඇත.    කුල පදනම මත පිහිටා ‘කන්නන්’ නම් වතු දෙමළ සම්භවයක් සහිත නීතිඥයාට ද්‍රවිඩ ජාතික සන්ධානය යටින් කකුලෙන් අදින පරිසරයක හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සදහා පදනම් කර ගන්නේ රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු වන අධිකරණ ඇමතිවරයා ය.

රාජපක්ෂ මහතාගේ නිවේදනයේ දෙවන ඡේදයේ තවදුරටත් දක්වන්නේ  ‘(ද්‍රවිඩ භාෂා කථා කරන විනිසුරුවන් අතර) ..........සුදුසුම පුද්ගලයා වවුනියා දිසා විනිසුරු ඩී.එල්.ඒ.මනාස් මහතා’ බවයි.  ද්‍රවිඩ ජාතිකයන් බහුතරයක් සිටින ප්‍රදේශයක පුරප්පාඩු සදහා මුස්ලිම් ජාතිකයෙකු පත් කිරීමට වඩා දෙමළ ජාතිකයෙකු පත් කිරීම සුදුසු ද, නැති ද යන්න තීරණය කිරීමට බහු නිර්ණායක පදනම් විය යුතුය.  නමුත්, රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අතීත භාවිතය වූවේ දෙමළ භාෂා විනිසුරුවන් නොමැති නම් අධිකරණ වසා දැමීමය.  ජනපති රාජපක්ෂ සමයේ දී 2013-2014 යාපනයේ සිවිල් අභියාචනාධිකරණය විනිසුරු ලෙස කොන්ත්‍රාත් පදනමින් කටයුතු කළේ විශ්‍රාමික විනිසුරු කේ.පෙරම්පරාජා මහතා ය. ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන්වීමෙන් පසුව වසර දෙකකට ආසන්න කාලයක් යාපනයේ අභියාචනාධිකරණයේ නඩු විභාග නොපැවැත්වූයේ ද්‍රවිඩ භාෂා අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු නොවූ බැවිනි.  පලාත් අභියාචනාධිකරණයක් දිගු කලක් වැඩි කලක් නඩු විභාග නොපවත්වා සිටි පරිසරයක් එහි වැසියන්ට කොපමණ දුක් ගැහැට ලබාදෙන්නට ඇති ද?  
හිටපු ජනාධිපතිතුමාගේ තුන්වන ඡේදයේ නිවැරදිව විග්‍රහ කෙරෙන අයුරින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට විනිශ්චයකාරවරුන් පත් කිරීම සදහා නිර්දේශ දිමේ ව්‍යවස්ථාවය, නීතිමය හෝ සදාචාරාත්මක බලයක් නැත.  එම අවස්ථාව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හිමි විය යුතුද? නැතිද? යන්න පුළුල් විධිමත් සංවාදයකින් තීරණය විය යුත්තකි.  ඇමරිකාවේ අධිකරණ සේවයේ නීතිඥ සංගමයේ ‘අධිකරණ සේවා පත්වීම් සදහා වන කමිටුවක් පවා ක්‍රියාත්මක වේ.  

අධිකරණ සේවයේ පත්වීම් සම්බන්ධයෙන් සමාජයේ යම් ස්ථරයකට අදහස්, මත, තොරතුරු සැපයීමේ විනිවිද යාන්ත්‍රණයක් පැවතිය යුතුය.  එමෙන්ම එය පොදු එකගතාව මත නියාමනය විය යුතුය.

නිවේදනයේ සිව්වන ජේදයේ දැක්වෙන්නේ නීතිඥ සංගමයේ ඇතැම් නිලධාරීන් 2015 දී මගේ ආණ්ඩු පෙරලීමට ප්‍රමුඛ කාර්ය භාරයක් කළ නිසා යහපාලනය බලධාරීන් තුටු පඩුරක් වශයෙන් ඔවුන්ට විනිශ්චයකාරවරුන් පත් කිරීමට බලයක් ලබාදීමට උත්සහ කරමින් සිටී. යනුවෙනි.   මෙම චෝදනාව එල්ලවන්නේ උපුල් ජයසූරිය මහතා ට බව පැහැදිලිය.  එයට පිළිතුරු ලබාදීම ජයසූරිය මහතා ගේ වගකීමකි.  ජයසූරිය මහතා එජාප හිතවතෙකි.  අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ මෙවර නීතිඥ සංගමයේ නිලවරණයේ දී සභාපති ධූරය සදහා තරග වදින  නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා ද ශ්‍රී ලංකා නිදහස් නිතිඥ සංගමයේ උප සභාපති ධූරය ඇතුළු තනතුරු දරා ඇති බවයි. සභාපති ධූරය සදහා ඉදිරිපත්වී සිටින අනුර මැදගොඩ මහතා  එජාපයේ නතතුරු දරා නොමැති නමුත් එජාපයට සමීප පවුලකින් එන්නේ යැයි යමෙකුට තර්ක කළ හැකිය.  සැබෑ ලෙසම වැදගත් වන්නේ නීතිඥ සංගමයේ තනතුරු සදහා පත්වන පුද්ගලයින්ගේ දේශපාලන පසුබිම නොවේ.  ඔවුන් එම ධූරයන් හි වගකීම් නීතිමය හා සදාචාරාත්මක මට්ටමකින් සුරකින්නේද යන්නය.   එදා ජයසූරිය මහතාට සභාපති ධූරය දැරීමට තිබූ අයිතිය අද සිල්වා හෝ අනුර මහත්වරුන්ට ද හිමි විය යුතු අතර සාමාජිකයින් ගේ කැමැත්ත අනුව එය සිදු විය යුතුය.


හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් යනු ශ්‍රේෂ්ඨාධිකරණයට නිසි පත්වීමක් නොලැබූ අයෙකු බව ට වන තර්කය පහසුවෙන් බැහැර කළ නොහැක.  ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගයත් එහි තීන්දුවත් ලංකා අධිකරණ ඉතිහාසයේ මකා දැමිය නොහැකි කළු පැල්ලමකි. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද දෝෂාභියෝග යෝජනාව 2013 ජනවාරි 13 දින අපරානුමත කරනු ලැබූයේ ජනපති රාජපක්ෂ මහතා විසිනි.  අගවිනිසුරු බණ්ඩාරනායක දෝෂාභියෝග ක්‍රියාවලිය පිටුපස සිට මෙහෙයවූවේ ජනපති රාජපක්ෂ මහතා ය.   බණ්ඩාරනායක මහත්මිය ඉවත් කරනු ලැබූවේ ව්‍යවස්ථානුකුලව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීම හා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වූ ඉල්ලීමක් මතින්, ජනාධිපතිවරයාගේ තීරණයක් මගින් ද? නැතිනම් මහින්ද කහදගමගේ ප්‍රමුඛ අලුත්කඩේ හා මුදමුලන චන්ඩින් ගේ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් ද යන්න රටට අමතක නැත. (http://www.hirunews.lk/51172/lawyers-procession-begins-tense-situation-near-hultsdorf-court-complex) පොලිස් හා හමුදා ආරක්ෂාව සහිතව පැමිණි චන්ඩි මෙහෙයවූ දේශපාලනඥයින්ගේ ඡායාරූප ලංකා අධිකරණ කෞතුකාගාරයේ ප්‍රමුඛ ස්ථානයක සවි කළ යුතුව ඇත.   

උපාලි අබේරත්න පත්වීම

ජනාධිපති රාජපක්ෂ මහතා විසින් එදා අධිකරණය සිදු කළ පත්වීම් කිහිපයක් ගැන මෙහි කෙටි සටහන් තැබීය යුතුමය.  
රාවය කර්තෘ වික්ටර් අයිවන් මහතා ගේ ලේඛන අනුව (http://ravaya.lk/?p=18660) අබේරත්න විනිසුරු පිළිබද තබන සටහන මෙසේය. 

උපාලි අබේරත්න දිසා විනිසුරුවරයාට එරෙහිව චෝදනා එල්ල වූයේ රසායන ඉංජිනේරුවකු වූ ජයසේකර එවකට අභියාචනාධිකරණයේ ප්‍රධානියාව සිටි සරත් නන්ද සිල්වා සම වගඋත්තරකරුවකු කරමින් සිය බිරිඳට එරෙහිව පවරන ලද දික්කසාද නඩුව විභාග කළ විනිසුරුවරයා වශයෙන් ඔහු එහිදී පවත්වාගෙන ගොස් තිබූ නීති විරෝධී හා අගතිගාමී ස්වභාවය ගැනය. 

මාගේ කෑගැසීම නොකඩවා කරගෙන යන දෙයක් බවට පත්වීම නිසා මෙම දිසා විනිසුරුවරයාට එරෙහිවද මා එල්ල කරමින් තිබුණු චෝදනා පරීක්ෂා කර බැලීම සඳහා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් සමන්විත වූ ත්‍රීපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කිරීමට එවකට සිටි අගවිනිසුරුවරයාට : ඩබ්ලිව්. පී.එස්. ද සිල්වා- සිදුවිය. එම පරීක්ෂණ කමිටුව දිසා විනිසුරුවරයා වරදකරු කොට ඔහු අධිකරණ සේවයෙන් ඉවත් කරන ලෙස නිර්දේශ කළේය. අධිකරණ සේවා කොමිසම 1990.01.31 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය පදනම මත ඔහු සේවයෙන් විශ්‍රාම ගැන්වීමට තීරණය කොට එම තීරණය ප්‍රකාශයටද පත්කිරීමෙන් පසුව ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කරන ලද අභියාචනයක් සලකා පළමු තීරණය වෙනස් කොට ඔහුගේ උසස්වීම් අවුරුදු දෙකක කාලසීමාවක් සඳහා අත්හිටුවා මොනරාගලට ස්ථාන මාරුවක් ලබාදෙන ලදි. ඉන්පසු ඔහුට ලබාදී තිබූ දඬුවම් කාලය ඉකුත් වන්නට පෙරම අගවිනිසුරු සරත් සිල්වා ඔහුට මහාධිකරණයට උසස්වීමක් ලබා දුන්නේය. සරත් සිල්වා අගවිනිසුරු ධූරයෙන් විශ්‍රාම යෑමට පෙර ඔහු අභියාචනා අධිකරණයට පත්කරන ලද අතර දැන් ඔහු ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේය. අධිකරණයේ පරීක්ෂණ සභා දෙකක් විසින්ම අධිකරණ සේවයෙන් ඉවත් කිරීමට නිර්දේශ කළ පුද්ගලයකු ශ්‍රේෂ්ඨාධිකරණයේ සාමාජිකයකු වීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට හේතුවිය නොහැකිය.

වික්ටර් අයිවන් මහතා ගේ චෝදනාවන්ට අදටත් සරත් එන් සිල්වා හෝ ජනපති රාජපක්ෂ මහතා පිළිතුරු දී නැත. 
අනෙක් අතට උපාලි අබේරත්න ගේ පත්වීම එදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිළිගත්තේ ද නැත. නමුත් ඔහු අදටත් අධිකරණ සේවයේ සිටී. රාවය පුවත්පත මේ සිදුවීම වාර්තා කළ ආකාරය මෙසේය. (http://ravaya.lk/?p=6058)

උපාලි අබේරත්න විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කර තිබෙන බව දැනගන්නට ලැබුණේ නව අගවිනිසුරුවරයා සඳහා පවත්වන ලද පිළිගැනීමේ උත්සවය නිසාය. එම පිළිගැනීමේ උත්සවය පවත්වා තිබුණේ නව අගවිනිසුරුවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණයට තේරී පත්ව සිටි අනිල් ගුණරත්න හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන් දෙදෙනාද පිළිගැනීමේ උත්සවයක් ලෙසිනි. ඒ නිසා මාගේ විශ්වාසය වූයේ අනිල් ගුණරත්න විනිසුරුවරයා සේ ම උපාලි අබේරත්න විනිසුරුවරයාද නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට කර තිබෙන නව පත්කිරීම් ලෙසය. එහෙත් උපාලි අබේරත්න විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත්ව තිබෙන්නේ නව ආණ්ඩුව තේරී පත්වීමෙන් පසුව නොව ඊට පෙර අවසාන මොහොතේ ඉතාමත් අසාමාන්‍ය ආකාරයටය. පත්කිරීම සිදුකර තිබෙන්නේ ජනාධිපතිවරණය පැවති කාලයේ එනම් 2014 දෙසැම්බර් 14 වැනිදාය. ඊටත් වඩා පුදුමසහගත දේ වනුයේ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කර තිබෙනුයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවක් නොතිබුණු අවස්ථාවකදීය. මෙම පිළිගැනීමේ උත්සවය අමතා නීතිඥ සංගමය වෙනුවෙන් කතා කළ එහි සභාපති උපුල් ජයසූරිය තමන් කරන ලද කතාවෙන් පිළිගෙන ඇත්තේ ද නව අගවිනිසුරුවරයා හා අනිල් ගුණරත්න විනිසුරුවරයා පමණය. උපාලි අබේරත්න ගැන කිසිදු සඳහනක් එම කතාවට ඇතුළත්ව නැත.

නීනිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට පත් කිරීම පිළිබද රාජපක්ෂ මහතාගේ නිවේදනයේ කරුණු දැක්වේ.  රාජපක්ෂ මහතා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයට පත් කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් 8 සහ 13 වන ස්ථානයන් හි සිටි පුද්ගලයින් ය.  අභියාචනාධිකරණයේ සභාපති ධූරයට පත් වුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් 10 වන ස්ථානයේ සිටි පුද්ගලයා ය.  

මෙම යුගයේ අභියාචනාධිකරණයේ සභාපති ධූරය දැරූවේ ශ්‍රී ස්කන්ධරාජා මහතා ය. අවස්ථා පහක (5)  ක දී ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමට ඇති අවස්ථාව රාජපක්ෂ සමයේ දී අහිමි කළේය.  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධූරයක් නොලබන්නට ඔහු සිදු කළ පාපකර්මය නම් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධූරයෙන් ඉවත් කිරීම නීති විරෝධි බවට තීන්දුව ලබාදීමය.  විනිසුරු ස්කන්ධරාජා ට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහලින් සිටි අභියාචනාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ, විනිසුරු ස්කන්ධරාජාට උඩින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීම් ලැබීමට වාසනාවන්ත විය.   රාජපක්ෂ පාලනය අවස්ථා පහක දී තමාට ලැබෙතැයි සිතා සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පත්වීම නොලැබීම නිසා කම්පනය ඉවසා ගත නොහැකි වූ   විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා  මොලයේ නහරයක් පිපිරීමෙන් අකල් මරණයට පත්විය.   
ස්කන්ධරාජාට උඩින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වූ විනිසුරු සරත් ආබෲ පිළිබදව ඔහු සිය දිවි නසා ගැනීමෙන් පසුව බොහෝ දේ ලියැවී ඇත.  කාන්තා හිංසනය, බේබදුකම, දේපල වස්තු වැනි අවශේෂ කාරණා ද ඒ අතර වේ.    විනිසුරු සරත් ආබෲට සහ ජනපති රාජපක්ෂ මහතා නීති විද්‍යාලයේ එකම කණ්ඩායමේ ගජයන් ය.

සාමාන්‍ය තත්වය යටතේ නීතිපති ධූරය දරණ අයෙකු අගවිනිසුරු ධූරයට පත් කිරීමේ සැලසුමක් නොමති නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධූරයකට පත් කරන්නේ හෝ ලබා ගන්නේ නැත. 2012 ජූලි මස වනසුන්දර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වූවේ විනිසුරු ආර්.එස්.කේ සුරේෂ්චන්ද්‍ර මහතා විශ්‍රාම යාමෙන් ඇති වූ පුරප්පාඩුවට ය.  
 

2014 ජූලි 6 දින දේශය පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඊවා වනසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ ‘‘දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතාකළා. කිව්වා, ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කීවා. 
මම 4.45 වෙද්දී අරලියගහ මන්දිරයට ගියා…….. ජනාධිපතිතුමා ලහිලහියේ පඩිපෙළ බැහැලා ආවා. ඇවිත් අයියෝ සමාවෙන්න ඊවා ඇත්තටම මට හොඳටම නින්ද ගියා කියලා සුපුරුදු මිත්‍රත්වයෙන්ම  කතා කළා. 
ඊවා… මේ… මේ… කියලා දෙතුන් පාරක් කියලා මම ඔයාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් ලෙස දානවා. ඔයා කැමතියි නේද කියලා මගෙන් එක්වරම ඇහුවා. ඒ වෙලාවේ මගේ හිත මට කීවා, ඊවා ඔයාට හැමදාම ඕනෑ වුණේ විනිසුරුවරියක් වෙන්න, දැන් මේ කෙනක් ඔයාගේ ඉස්සරහ ඉඳන් කියනවා ඔයාට විනිසුරුවරියක් වෙන්න කියලා. මම කල්පනා කළා හා කියනවාද බෑ කියනවාද කියලා………………. එතුමා මගෙන් මෙහෙම අහන්නේ මොකක් හෝ හේතුවක් නිසානේ කියලා. මම කීවා, හරි සර් මම කැමතියි කියලා.’

එම කැමැත්ත පළ කිරීමෙන් පසුව සිදුවන අසිරිමත් සිදුවීම යුවංජන විජේතිලක මහතා  නීතිපති ධූරයට පත් වීමය.  
අධිකරණ සේවයට එදා මෙදා තුර සිදු වූ බලවත්ම ව්‍යසනය ලෙස සැලකිය හැක්කේ 17 වන සංශෝධනය බලාත්මක ව තිබිය දී ව්‍යවස්ථාදායක සභාවේ බලය අහිමි කරමින්, ව්‍යවස්ථා සභාව ස්ථාපනය කිරීම පැහැර හරිමින් ව්‍යවස්ථා සභාවේ අනුමැතියක්/බලයක් නොමැතිව පත්වීම් සිදු කිරීමය.  මෙලෙස පත් වූ විනිසුරුවරුන් අතර ජගත් බාලබටබැදි, ඇන්ඩෲ සෝමවංශ සහ සලීම් මාෂුෆ් යන විනිසුරුවන් ඇතුලත්ය.  ඔවුන් එම පත්වීම් සදහා ඇති සුදුසුකම් හෝ ඔවුන් ගේ චර්යාවන් කිසි ලෙසකින් අභියෝගයට හෝ කැළලකට ලක් නොවන නමුත්, ශ්‍රෙෂ්ඨාධිකරණයට පත් කිරීමේ ක්‍රමවේදය ව්‍යවස්ථා විරෝධී ය. 

රාජපක්ෂ සමයේ මීගමුව මහාධිකරණයේ සේවය කරමින් සිටි විනිසුරුවරයෙකු තම ස්ථාන මාරුවීම් ලබා යාමට පෙර අවසන් දිනයේ මත්ද්‍රව්‍ය වරදකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ පුද්ගලයෙකුට ඇප ලබා දුන්නේය.  මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය සිදුකල අනාවරණයෙන් පසුව විනිසුරුවරයා ඔහු නැවත කැදවා ඇප අවලංගු කළේය.  අධිකරණ සේවා කොමිසම මේ පිළිබද විමර්ශනයක් පැවැත්වූ අතර විනිසුරුවරයා සිද්ධියට වැරදිකරු විය.  නමුත්, දේශපාලන මැදිහත්වීම මගින් ඔහු මහාධිකරණයේ සිට අභියාචනාධිකරණය දක්වා වූ උසස්වීම් ලැබූවේ ජනපති රාජපක්ෂ මහතා ගේ අත්සන යටතේය.  

නීතිඥ වෘත්තියේ අයෙකුට සිය දිවියේ ඉහළම ගෞරවය ජනාධිපති නීතිඥ පදවිය යි.  මහින්ද රාජපක්ෂ මහතා සිය ධූර කාලය තුල එක් දිනකදී ජනාධිපති නීතිඥවරුන් 25 කට ආසන්න සංඛ්‍යාවක් පත් කළේය.  ඔවුන්ට අදත් අළුත්කඩේ අමතන්නේ “ජනාධිපතිගේ නීතිඥ“ කියා මිස ජනාධිපති නීතිඥ කියා නොවේ.  ඒ තුලින් ජනාධිති නීතිඥ ධූරයේ තිබු ගෞරවනීයත්වය හා කීර්තිය විනාශ වූ බව විවෘත රහසකි.  වැදගත් නීතිඥවරුන් ජනාධිපති නීතිඥ ධූරය ප්‍රතික්ෂේප කළෝය.  ජනාධිප නීතිඥ ධූරය සම්බන්ධයෙන් එදා ඇති වූ තත්වය කීර්තිමත් නීතිඥ එස්.එල්.ගුණසේකර එදා එක් වැකියකින් පළ කළේ මෙසේය.  ‘මා හට එවන් කීර්තිමත්  සම්මානනීය ධූරයක්  දීමට නම් පළමුව එම සම්මානය ලබා දෙන පුද්ගලයා කීර්තිමත් ගෞරවීය පුද්ගලයෙකු විය යුතු ය’.  ගුණසේකර මහතා ජනාධිපති නීතිඥ ධූරය ප්‍රතිකේෂ කළේය.

රාමනාදන් කන්නන් මහතා ගේ පත්වීම නීතිඥ සංගමයේ සහ අධිකරණ සේවා සංගමයේ ගැටුමක් මිස පත් කිරීමේ ක්‍රමවේදයේ අක්‍රමිකතාවක් නොවේ. ජාතික අවශ්‍යතාවයන් අතහැර නීතිඥ සංගමය හෝ අධිකරණ සේවා සංගමයේ අවශ්‍යතාවන් මත අධිකරණ සේවයේ පත්වීම් සිදු කරන්නට නම් රටකට ජනාධිපතිවරයෙකු අවශ්‍ය නොවේ.

 

රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ - ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය
විධායක අධ්‍යක්ෂ - කැෆේ සංවිධානය
උපදේශක - දුෂණ විරෝධී පෙරමුණ
 

Search News & Updates
Keyword
Date
Date