News & Updates
Both news media and general public can find important information
about updates, alerts and events that impact human rights in Sri Lanka

අතරමගින් හැරී යාම හෙවත් "චණ්ඩි ශ්‍යාමා" ගේ භූමිකාව

2016 Oct 19

 මෛත්‍රීපාල සිරිසේන මෙන්ම දිල්රුක්ෂි ඩයස් ද ඉතිහාසය විසින් යුග මෙහෙවරක් පැවරුණු චරිත දෙකක් වූවේය. ඔවුන් වටා දැවැන්ත බලාපොරොත්තු ගොඩනැගී තිබුණි.එක් මොහොතක්, එක් ක්‍රියාවක් ඔවුන් මහා සමාජයේ ‘අතීත සැමරුම්‘ පමණක් බවට පත් කළ හැකි ද? අවසනාවකට සිදු වෙමින් ඇත්තේ එයයි.    

 ‘යහපාලනය‘ පිළිබද බලාපොරොත්තුව මෛත්‍රී වූ ලෙසම ‘දුෂණයට‘ එරෙහි බලවේගයේ බලාපොරොත්තුව වූවේ ‘දිල්රුක්ෂී‘ ය. එක් නිශ්චිත මෙහොතක ඔවුන් වටා ගොඩනැගුණු සියල්ල බිද වැටෙමින් තිබේ. සිදු වූවේ කුමක්ද?
දුෂණය එරෙහි දැවැන්තයෙක් රටට අවශ්‍ය විය.  ඒ මෙහොත පිරවූවේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ විය.  ඒ නිසාම අප ඇය සමග සිට ගත්තෙමු.  එකට වැඩ කරන්නට උත්සහ කළෙමු.   ඇය රටට පේන්නේ ‘චන්ඩි ශ්‍යාමා‘ ලෙස යැයි මම ඇයට කිවෙමි.  හොද චිත්‍රපට රසිකාවියක් වූ ඇයට ‘චන්ඩි ශ්‍යාමා‘ කවුද යැයි යම් වැටහීමක් තිබුණි. 
 
චන්ඩි ශ්‍යාමා තම ඉල්ලා අස්වීමේ ලිපිය ලියා ඇත. 
 
ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක කථාවෙන් සුළුවේලාවකට පසුව එහි විඩියෝව මම ඇයට යොමු කළෙමි. රටින් බැහැර සිටි ඇය සිදු වූ දේ පිළිබද තොරතුරු දැනගත්තේ සෙමිනි.  මම ඇයට කීවේ මේ කථාවේ ‘අර්බුදයේ කේන්ද්‍රය’ සෘජුව ඇය හා බැදී පවතින‘ බවයි. 
 
දීර්ඝ දුරකතන සාකච්ඡා දෙකකින් පසුව ඔක්තෝබර් 13  උදේ 10 ට පමණ ඇය කෙටි පණිවුඩයකින් මට ප්‍රතිචාර දැක්වූවාය.  (I just realized what you said only now.  OMG)  
 
ඇය තියුණු දේශපාලන සටකපටකමක ගොදුරක් බවට පත්වීය.  ජනාධිපතිවරයා සිතන්නේ ඇය එහි පාර්ශවකාරියක බවයි.  පුද්ගලිකව මා නම් සිතන්නේ එය ගේ වැඩ කිරීමේ ශෛලිය විසින් ඇය කපටි දේශපාලන බලවේගයක අවශ්‍යතාව උදෙසා මෙවලකමක් පමණක් වූ බවයි.
 
ගෙවී ගිය දින කිහිපයක තුල ඇයට ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නොවන තැනකට සිදුවීම් සෙමින් නමුත් ස්ථීරව වර්ධනය විය.  ගිණි අවි පනත යටතේ නඩු පැවරිය යුතු චෝදනාවක් ‘දුෂණයට උත්සහ දැරීම‘ යටතේ නඩු පැවරීම තුලින් සැකකරුවන්ට නිදහස්වීමට අවස්ථාව සැලසුවේය යන්න ඇයට ඇති පළමු තීරණාත්මක චෝදනාවයි. දෙවැන්න,  වත්මන් රජය යටතේ සිදු වූ දැවැන්තම මුල්‍ය අපරාධය ‘මහ බැංකු බැදුම්කර මගඩිය‘ ඇය විසින් නොතකා හැරීමයි. 
 
ජනපති අගමැති හමුව 
විවාදාත්මක ජනාධිපතිවරයාගේ කථාවෙන් පසු දින සිදු වූ ‘ජනපති - අගමැති‘ හමුවේ දී අල්ලස් දුෂණ විමර්ශනයේ දී අක්‍රමවත්, වැරදි තෝරාගැනීම් හා විනිවිද භාවයක් නොමැතිවීම පිළිබද දෙපාර්ශවය අතර අදහස් හුවමාරු විය.  ක්‍රමයක් හා කාර්යාවලියක් නොමැතිකම විසින් අර්බුදයක් නිර්මාණ නිර්මාණය කොට තිබුණි.  තෝරාගැනීමේ ක්‍රියවලියේ දී අභිමත බලය තනි පුද්ගලයෙකු අත කේන්ද්‍රණයවීම තුල දේශපාලනික සංවේදී බව ගිළිහියාමට ඇති ඉඩකඩ විශාලය.  සැබවින්ම සිදුව ඇත්තේ ද එයයි.
වත්මන් අර්බුදයට ආසන්නතම හේතුව ජනාධිපතිවරයා විසින් සිදු කළ විවාදාත්මක ප්‍රකාශය යි.  එය කිසි ලෙසකින් හෝ සිදු නොකල යුතුව තිබූණි.  එම පුපුරායාමට පාදක වූ කරුණු වටහා ගැනීම ද අතිශයින්ම වැදගත් වේ.
 
දුෂණ විරෝධී පෙරමුණ, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි 225 ක් ඉදිරිපත් කොට ඇත. එක් ආයතනයක් විසින් ඉදිරිපත් කළ වැඩිම පැමිණිලි සංඛ්‍යාව එයයි.  2015.12.28 දින එයින් 94 ක ප්‍රගති පිළිබද දළ අදහසක් අප වෙතට ලැබුණි. එයින් අවසන් අදියර සදහා මාස 10 ක් තුල පැමිණ තිබුණේ පැමිණිලි 3 ක් පමණී.  මෙම තත්වය අප බෙහෙවින් කළ කිරීමට හේතුවිය.   මේ පිළිබද අවස්ථා තුනක දී ඉන් පසුව එනම් 2016 මාර්තු 23, ජූනි 2 හා ජූලි 20 දිනවල අප විසින් පසු විපරම් කරනු ලැබීය.   ඒ කිසිවකට මේ දක්වා ලිඛිත හෝ වාචික පිළිතුරක් හෝ නොවීය.
 
මේ තත්වය පිළිබද අප අවස්ථා ගණනාවක දී අපගේ නොසතුට ප්‍රසිද්ධියේ ද ප්‍රකාශ කොට ඇත.  රියදුරු දිසානායක කෘෘර වද හිංසාවට ලක්වීමේ සිද්ධියෙන් සාක්ෂිකරුවන් ආරක්ෂා පිළිබද තත්වය දැඩි අර්බුයක් බවට පත් විය.  අප සංවිධානය පැමිණිලි 225 ක් සම්බන්ධයෙන් පළමු සාක්ෂිකරුවන් වී සිටී.  එයින් පසුව අප, දුෂණ විමර්ශණය සදහා වූ  රාජ්‍ය ආයතන කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීම වෙනුවට, අපට සුපුරුදු ජනතාව මත විශ්වාසය තැබීමේ ක්‍රමවේදය වෙත නැවත යොමු වුනෙමු.
 
ක්‍රමයක් හෝ කාර්යාවලියක් නොමැති විමර්ශන
ක්‍රමයක් හෝ කාර්යාවලියක් නොමැති පැමිණිලි විමර්ශනය, තෝරාගත් පැමිණිලි නොතකා හැරීමටත්, අභිමත පැමිණිලි මතු කර ගැනීමට අවස්ථාව සැලසීය. එය දේශපාලන සංවේදී කරුණු සම්බන්ධයෙන් සිදු වූවේ ඒකපාර්ශවීය ලෙසින් බව බැලූ බැල්මට පෙනෙන්නට තිබුණි. දුෂණ විරෝධී පෙරමුණ ලෙස අප ප්‍රමුඛ ලෙස සැලකූ බොහෝ පැමිණිලි පිළිබද මුලික විමර්ශයක් හෝ සිදු නොවීය.
මේ නිසාම, වංචා, දුෂණ හා අල්ලස් සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ඉදිරිපත් කරන ආයතනය වන දුෂණ විරෝධී පෙරමුණ 2015 මාර්තු 1 සිට  සැප්තෑම්බර් 23 දක්වා එකදු පැමිණිල්ලක් හෝ අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කරනු නොලැබීය.  (සැප්තෑම්බර් 23 දින අප ගල් අගුරු වංචාවට අදාළ පැමිණිල්ලක් සමග තවත් පැමිණිලි 14 ක් ඉදිරිපත් කළෙමු.  එයින් ගල් අගුරු වංචාව පිළිබද විමර්ශනයක් සිදු වෙතැයි අප වෙත කිසිදු බලාපොරොත්තුවක් නොවීය.)
 
කොමිසම මගින් විමර්ශන සිදු නොවු ඉහළම ජනතා අවධානයක් සහිත පැමිණිලි මෙසේය.
1.       අමාත්‍ය මහින්ද අමරවීර මහ බැංකුවේ හිටපු අධිපතිවරයාට එරෙහිව සිදු කළ පැමිණිල්ල.
2.       මුදල් අමාත්‍යවරයාට එරෙහි පැමිණිලි 4 ක්
3.       ගෝඨාභය රාජපක්ෂට සම්බන්ධ මිග්, ඇවන්ගාඩ්, ඩී.ඒ.රාජපක්ෂ පදනමට අදාළ පැමිණිලි
4.       ගාමිණී සෙනරත් ට අදාළ පැමිණීලි
බැදුම්කර වංචාව නොතකා හැරීම හා ගිණි අවි පනත යටතේ නඩු පැවරීම වලකමින් ඇවන්ගාඩ් දෙවන නැව ‘දුෂණයට තැත් කිරීම‘ බවට පත්වීම කිසි ලෙසකින් හෝ සාධාරණීකරණය නෙවේ.  
වත්මන් විමර්ශනයන්ගේ අවිධිමත්බව එක් උදාහරණයක් මගින් පැහැදිලි කළ හැකිය.
අප සංවිධානය ලක් සතොස ආයතනය සම්බන්ධයෙන් 2015.12.28 හා 2015.04.10 දිනවල කොමිෂන් සභාවට බාරදී ඇත.  රජයේ විගණාකාධිපතිවරයා විසින් ද මෙහි තිබූ බහුතරයක් කරුණු සනාථ කර තිබූ අතර පැමිණිලවලට සම්බන්ධ මුල්‍ය පාඩුව රුපියල් බිලියන 18 කි.  මෙසේ තිබිය දී, ලක් සතොස හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු මහතා ට එරෙහිව පොලීසිය (දෙමටගොඩ දුෂණ විමර්ශන කොට්ඨාශය) රු. 19,200 ක වාහන කුලී සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඔහු අත්අඩංගුවට ගෙන සතියක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය.  සිද්ධියේ සම්පූර්ණ ප්‍රකාශිත අලාභය රු. 31,000 කි .  අදටත් රු. බිලියන 18 ක් වු පාඩුව පිළිබද විමර්ශන හෝ නඩු පැවරීමක් හෝ නොමැත.  දුෂණ විමර්ශනයේ දී ක්‍රමයක්, කාර්යාවලියක් අවශ්‍යය.    
 
දේශපාලන සංවේදීබව - මහින්දානන්ද උදාහරණය
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් හා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන අය සම්බන්ධයෙන් වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් පැමිණිලි පවතී.  තෝරා ගැනීම් පිළිබද නිර්ණායකයේ දී වංචාවට අදාළ මුදල තීරණාත්මක සාධකය නම් නිශ්චිත ලෙසම ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ ගාමිණී සෙනරත් විමර්ශනයටය.  ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පැවසූවේ මහින්දාන්ද අලුත්ගමගේ මහතා සමග ජනාධිපතිවරයාට සම්බන්ධ කණ්ඩායමක් විසින් දේශපාලන සාකච්ඡාවක් පැවැත්වා දින කිහිපයකින් ඔහුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පැවරූ බවයි.    මෙම සිද්ධිය අහම්බයක් දැයි අප නොදනිමු.  නමුත් එයට සෘජු දේශපාලනික අර්ථයක් ලැබීම පහසුය. තාර්කිකය.  (අවධාරණය - කැරම් බෝඩ් සිද්ධියට නඩු පැවරීම ගැන මාගේ විරෝධයක් නොමැත. එය සිදු විය යුතුව තිබුණි.)
 
තිරු නඩේෂන් අත්අඩංගුවට ගැනීම
ඔක්තෝබර් 17 දින තිරු නඩේෂන් මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.  දුෂණ විරෝධී පෙරමුණ හැර අන් කිසිදු සංවිධානයක් එයට අඛන්ඩව බලපෑම් කළේ නැත. ජනමාධ්‍ය ඔහුගේ නම පවා වාරණයට ලක් කරනු ලැබීය.  අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් තුල ඔහුට පැය කිහිපයක් තුල ඇප ලැබුණි.   මල්වානේ ඉඩම සම්බන්ධයෙන් තිරු නඩේෂන් ගෙන් ප්‍රශ්න නොකිරීම මේ අර්බුදයේ තීරණාත්මක සාධකයක් බව අප මෙයට පෙර අනාවරණය කළෙමු. 
විවාදාත්මක ප්‍රකාශය සිදු කිරීමට පෙර, දිල්රුක්ෂි ඩයස් මහත්මිය ට ජනාධිපතිවරයාගෙන් දුෂණ විමර්ශන සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් එල්ල නොවුනු බව පැහැදිලිය.  එමෙන්ම ඇය ජනාධිපතිවරයාට විමර්ශන ප්‍රගතිය පිළිබද කිසිදු වාර්තා කිරීමක් සිදු නොකළ බව ද එලෙසම ඇත්තය.   එය ස්වාධීන කොමිෂන් සභාවන්ගේ තිබිය යුතු ‘ස්වාධීනත්වය‘ ලෙස සැලකුවේය.  නමුත්, ඇය අගමැතිවරයාගේ පාර්ශවය සමග (අවධාරණය - අගමැතිවරයා සමග නොවේ. ) විමර්ශන ප්‍රගතිය පිළිබද සංවාදයක් පවත්වාගෙන යනු ලැබීය. 
 
අනෙක් අතට අල්ලස් කොමිෂන් සභාව සහ ජනමාධ්‍ය අතර තිබූ පරතරය පුළුල් විය. නිවැරදි තොරුතුරු ලබාදීමේ යාන්ත්‍රණයක් එයට නොවීය.  ඇය කුමක් කරන්නේ ද? යන්න ජනගත නොවීය.    
 
මේ රටේ බහුතරයක් ආදරය කළ, බලාපොරොත්තු තබා සිටි දිල්රුක්ෂි ඉල්ලා අස්වීම තුල දුෂණ විරෝධීන්ගේ  අපේක්ෂා බිද වැටීමට හේතුවී තිබේ.  විශේෂයෙන්ම අල්ලස් කොමිෂන් සභාවේ සේවකයින්ගේ දැවැන්ත කළකිරීමක් තිබේ.  ඔවුන් සේවය කළේ කැමැත්තෙනි.  කැපවීමෙනි.  තෘප්තියෙනි.  අනෙක් අතට ඔවුන් අනාගතය වෙනුවෙන් සිදු කළ ආයෝජනයන් අති විශාලය.  පාසල් විෂයමාලා සැකසීම, පලාත් පාලන ආයතන සමග කටයුතු කිරීම, අල්ලස වැලැක්වීම ඒ අතර මුලික වූවේය.  ඒ සියල්ල තාවකාලික පසුබෑමකට ලක්වීම අනිවාර්ය ය.
 
අල්ලස් කොමිෂන් සභාව විමර්ශන සම්බන්ධයෙන් කටයුතු කළේ හුදෙකලා කාමරයක් තුල යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ.  එහි අනිවාර්ය ප්‍රතිඑලය වූවේ දේශපාලන සංවේදීභාවය එයින් දුරස්වීම යි.  මේ තත්වය/අර්බුදය පොලිස් හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ද එක ලෙස අදාල වේ.  (මැතිවරණ කොමිසමේ තත්වය එයින් වෙනස් ය) 
 
ස්වාධීන කොමිසන් සභාවටන් මැදිහත්වීමට විධායක ජනාධිපතිවරයාට කිසිදු බලයක් නැත.  එය සිදු නොවිය යුතු  ද වේ.  නමුත්, අනාගතයේ දී මෙවැනි විවේචනයන් විධායකය හෝ විධායක තුලින් මතු නොවන තත්වයකට තම කාර්ය පටිපාටිය හා ක්‍රමවේදයන් සකස් කර ගැනීම ද ස්වාධීන කොමිෂන් සභාවන් හි වගකීමකි.
 
එසේ නොවන තාක් තම අභිමතය පරිදි විමර්ශන තෝරාගන්නට නිලධාරීන්ට අවස්ථාව ලැබෙනා ලෙසම එයට එරෙහිව කුමන්ත්‍රණ කරන්නටත්, ඒවා දේශපාලන අවශ්‍යතා සදහා යොදා ගන්නටත්, ඉන් පසුව තම සැගවුණු අරමුණු උදෙසා කැරළි ගසන්නට දේශපාලනඥයින්ට ඉඩ ලැබෙනු ඇත.  යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන් දැන දැනම කර ඇත්තේ ද එයයි.
 
රජිත් කීර්ති තෙන්නකෝන්
උපදේශක/දුෂණ විරෝධී පෙරමුණ

Search News & Updates
Keyword
Date
Date